Wednesday 3 July 2013

" සොක්‍රටීස් මෙන් සැක කරන්න ...ඩෙකාට්ස් මෙන් ප්‍රශ්න කරන්න....

පරපුරක නෙත් වැසී ගිය විට අන්ධකාරය පිරී යන බව සත්‍යය . එහෙත් ඒ නෙතින් නෙත් ලද පරපුරක් සිටින විට ඒ අන්ධකාරය පරාජය කල හැක . මහා පුරුෂයන් හිරු අභිබවන්නේ එලෙසිනි.

"විජේවීර නොමැති දේශපාලනය පාලු " යැයි අන්ත දක්ෂිනාන්ෂික දේශපාලන ක්‍රියාකරුවෙකු වූ දයාන් ජයතිලක වරෙක කීවේය. දක්ෂිනාංශික දේශපාලන ව්‍යාපෘතියේ උන්නතිය වෙනුවෙන් පෙනීසිටි ඔහුට නිවැරදි දකුණ සොයා ගැනීමට නම් වම පිලිබඳ අධ්‍යනයක නිරත වීමට සිදු විය. ඔහු රෝහණ විජේවීර නම් වමේ මිනිසා අද්‍යනය කලේ නිවැරදි වම සෙවීමේ කටයුත්තටය. එය එතරම්ම නිවැරදි වමේ භාවිතාවක් විය. 

වැසුණු විට පරපුරක නෙත 
අඳුරු බව සැබවී ලෝකයම 
රැගෙනු එනු මිස ගොසින් ඉඳුදිග 
හිරු නැගෙන ප්‍රමාදය ගැන 
විපිළිසර වනු කෙලෙස අප 
පරපුරකි ඒ නෙතින් නෙත් ලද ....

" සොක්‍රටීස් මෙන් සැක කරන්න ...ඩෙකාට්ස් මෙන් ප්‍රශ්න කරන්නැයි " පරාක්‍රම කොඩිතුවක්කු සිය කවියක වරෙක වර නැගීය. විජේවීර ළමා කාලයේ සිට තාරුණ්‍යට රැගෙන ගියේ එම ගුණයය. තමා ජීවත් වන දුෂ්ට සමාජ ක්‍රමය පමණක් නොව එයට විකල්ප සමාජ ක්‍රමය ගොඩනගන වමේ ව්‍යාපාරය ගැනද ප්‍රශ්න කළේය. අවුරුදු 18 දී සෝවියට් දේශපාලනය පිලිබඳ ප්‍රශ්න කල තරුණ විජේවීරට ඒ වෙනුවෙන් රුසියානු වෛද්‍ය උපාධියට සමුදීමට සිදු විය දශක දෙකකට පසුව ඔහු මරා දමන විට එම ප්‍රශ්න කිරීම් සනාත වී නිලධාරීවාදී පාලනය උඩු යටි කුරු වී ගියේ අප දෙනෙත් ඉදිරිපිටය. 
ලාංකීය දේශපාලන ප්‍රවාහයට කෙනෙකු පිවිසෙන්නේ ධනය හා බලය සුරතින් රැගෙනය. එහෙත් විජේවීරයන්ට ඒ කිසිවක් නොතිබුණි, එහෙත් ඔහු සතුව සුවිසල් සිහිනයක් සිත තුල විය. ඒ සිහිනය හඹා යාමට තරම් අප්‍රතිහත ධෛර්යකින් ඔහුගේ සිත ගත පිරී තිබුණි. ගාන්ධිට කල නොහැකි දේ භගත් සිං ට කල හැකි දැයි ප්‍රශ්නකළ ඉන්දීය ප්‍රභූ වරු මෙන් පැරණි වමේ ඇන්.එම්. ලා රෝහණ විජේවීරගෙන් ලාංකීය අරගලය ප්‍රශ්න කළහ. පසුගාමී ධනේශ්වර පාලනයෙන් හෙම්බත් වූ , වමේ අවශ්ථාවාදයෙන් ඇට්ටකුනා වූ ලාංකීය සමාජය නිද්‍රාවෙන් අවදි කල මිනිසා වුයේ විජේවීරයන්ය. වමේ ඊනියා සම්භාව්‍ය නායකයන් අත හැර තිබු අරගල බිම නැවත සටන්කාමීත්වයෙන් ඔපවත් කරන්නේ 71 අභිමානවත් ජනතා නැගිටීම හරහාය. 

සැබෑ විප්ලවවාදීන් කිසි දිනක ධනපති මර්ධනාධිකරණ ඉදිරියේ දනින් නොවැටුනහ. පිදෙල් " ඉතිහාසය විසින් අප නොදොස් කරනු ඇතැයි " කියමින් බැටිස්ටාගේ පාලනයට අභියෝග කරමින් සිරගෙට ගියේය. භාගත් සිං " අධිකරණය විගඩම් මඩුවක් බව කියමින් " බ්‍රිතාන්‍ය කිරීටයට සමච්චල් කළේය. එදා විජේවීරයන් ධනේශ්වර අධිකරණය හමුවේ මෙසේ කියමින් ලාංකීය පසුගාමී ධනපතියන් භීතියෙන් මුසපත් කළේය. 

"අප නැගු විමුක්තියේ කාහල නාදය දෙරණ තලය පුරා රැව් පිලිරැව් දෙනු ඇත. මේ ධනේශ්වර සමාජයේ අහුමුල්ලක්ම 
එහි දෝංකාරයෙන් නින්නාද වනු ඇත. අවසානයේදී නව දේශයක් , නව ලොවක් බිහි කරමින් නව ඉරක් , විමුක්තියේ රතු ඉරක් පායනු පායනු ඇත "

විප්ලවවාදීන්ට අධිකරණ සිය ප්‍රකාශන මාද්යක් කරගත හැක. සිපිරි ගේ තාක්ෂලාවක් කරගත හැක. විජේවීර සහෝදරයා මෙකී ධනේශ්වර ආයතන දෙකම උපයෝගී කරගත්තේ සමාජයට අකුරු කරලීමටය. 
මරණයේ බිත්තියටම සිර කල මිනිසෙකු යලි පෙරලා සටන් වැදීමට ජීවිතය අවැසිය. එවැනි උපක්‍රමික යටත් වීම් ඉතිහාසය පුරා අප දැක ඇත. එවැනි සිදුවීම් සාදාරනීකරණය වූ අවස්ථා බොහෝය. එහෙත් රෝහණ විජේවීර නම් අසහාය විප්ලවවාදියාට එවැනි සම්මුතියක් හෝ පන්ති සතුරාගෙන් අවැසි නොවීය. ඔහු මරාදමුවේ ධනේශ්වර පන්තියට තිබු එකම භීතිය නිසාය. එහෙත් ඔහු මිය ගියේ නැත. ඔහුගේ ප්‍රකාශන ඇසුරින් කියවනඅයෙකුට මහා ප්‍රාඥයෙකු වේ. ඔහුගේ භාවිතාව ඇසුරින් කියවන අයෙකුට ශුර දේශපාලනඥයෙකි. ඔහුගේ දර්ෂණය නොපිළිගන්නා අයටද ඔහු ප්‍රතික්ෂේප කල නොහැකි දේශපාලන පෞරෂයකි.

No comments:

Post a Comment